බදුල්ල දිස්ත්රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී රජය මගින් මේ වන විටත් ආරම්භ කර ඇති එන්නත් ලබාදීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ඒ අනුව මුළු දිස්ත්රික්කයටම 513,325ක එන්නත් අවශ්ය වන බව සෞඛ්ය අංශය මගින් දැනුවත් කෙරුණි. එම එන්නත් තොගය හැකි ඉක්මනින් මහජනතාවට ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ ලෙස සාකච්ඡා කෙරෙන ලදි.
තවද පළමු මාත්රාව ලබා දීම සහ ඊට පසු දෙවෙනි මාත්රාව නියමිත පරිදි කාල වකවානු තුළ ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර සෞඛ්ය ආරක්ෂිතව ගැටලුවකින් තොරව දිනකට එක මධ්යස්ථානයක ලබාදිය හැක්කේ එන්නත් මාත්රා 160ක් පමණක් බවත්, එවැනි මධ්යස්ථාන දිස්ත්රික්කය පුරා 266ක් මේ වනවිට සැලසුම් කොට අවසන් බවත්, සෞඛ්ය අංශ දන්වා සිටින ලදි. එමෙන්ම දිස්ත්රික්කය තුළ තිබෙන ආයුර්වේද වෛද්ය මධ්යස්ථාන වලින ද එන්නත් ලබාදීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්ය අංශය වෙත උපදෙස් ලබා දෙන ලදි.
මහජනතාවත් එක්ක නිතරම ගැටෙන
සෞඛ්ය සේවා නිලධාරීන්, ආරක්ෂක අංශය, ග්රාම සේවා නිලධාරීන්, සමුපකාර නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු අත්යාවශ්ය සේවා සපයන නිලධාරීන්ට ප්රමුඛතා දෙමින්, ප්රමුඛතා ලේඛනයක් සකස් කොට සෞඛ්ය අමාත්යාංශය වෙත හැකි විගස යැවීමට සෞඛ්ය වෛද්ය නිළධාරී තුමන්ලාට සහ දිස්ත්රික් ලේකම් තුමියට උපදෙස් ලබා දුන්නේය.
තවද නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000ක් වටිනා බඩු මල්ල ලබාදීමේ දී ස.තො.ස ආයතනයේ අත්යාවශ්ය භාණ්ඩ නොමැතිකම පිළිබඳ ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් ස.තො.ස වෙනුවෙන් පැමිණ සිටි නිළධාරිතුමන්ගෙන් විමසා සිටි අතර, බදුල්ල දිස්ත්රික්කයේ ස.තො.ස ජාලයේ සියලුම ස්ථානවල භාණ්ඩවල හිඟතාවයක් ඇතිනම් ඒ පිළිබඳව දිස්ත්රික් ලේකම්තුමිය සහ කමිටුව දැනුවත් කර, බඩු මල්ල ගැටලුවකින් තොරව නිරෝධායනය වන පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දුන්නේය.
මේ දිනවල අධ්යාපන කටයුතු වැඩිදුරටත් සිදුවන්නේ ඔන්ලයින් ක්රමවේදයන් යටතේ හෙයින් ඒ සඳහා අවශ්ය දුරකථන කාඩ්පත් වල හිඟතාවයක් ඇති බවට කමිටුව හමුවට පැමිණිලි ලැබී තිබූ අතර ඒ පිළිබඳව දුරකථන සමාගම් දැනුවත් කිරීමටත්, ගම්වලට වෙළඳාමේ යන ජංගම ලොරි රථ වල අවශ්ය දුරකථන කාඩ්පත් ගම් වලට යැවීමටත් උපදෙස් ලබා දෙනු ලැබුවේය.
මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය තේනුක විදානගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය මහතා, ප්රාදේශීය සභා නියෝජිතවරුන්, පළාතේ ප්රධාන ලේකම්, බදුල්ල දිස්ත්රික් ලේකම්, ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරින් පිරිසක් සහභාගී වූ අතර zoom තාක්ෂණය ඔස්සේ කම්කරු අමාත්ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ තවත් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුද, රාජ්ය නිලධාරීන්ද එක්ව සිටියහ.