සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ ඇති, මෙතෙක් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026.09.19 දින බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. සසුනට දරුවන් පූජා කළ මව්පියන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

වැඩසටහනේ සමාරම්භක පියවර ලෙස, බදුල්ල හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩුමහුවෙල ග්‍රාම නිලධාරී වසමේ ඉදිවන පට්ටියගෙදර චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ගේ නව නිවස සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.

ඊට සමගාමීව, තෝරාගත් යතිවර මාපියන් වෙත නිවාස හිමිකම් පත්‍ර 40ක් ප්‍රදානය කිරීම, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පස්වරුවේ පැවැත්විණි. මහාසංඝරත්නය වෙත දහවල් දානයෙන් පිළිගැන්වීමෙන් පසු ඌව පළාත් සභා පරිශ්‍රයේ සිට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පෙරහැරකින් වැඩම කරවීම විශේෂත්වයක් විය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

2026 වසරේ සිට ඉදිරි වසර තුන ඇතුළත දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නිවාස 1,000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි. පළමු අදියර යටතේ නිවාස 270ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් නිවාස 40ක් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කර ඇත. එක් නිවසක් ඉදිකිරීමට රජය මඟින් රුපියල් ලක්ෂ 15ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ඇත.

අතිපූජ්‍ය මහාසංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවති මෙම උත්සව අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මැතිතුමා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.