ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවර ධුරයේ සිය රාජකාරි ආරම්භ කර වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, “පුනරුද ඌවේ දෙවසරක්” යන තේමාව යටතේ මෙම දෙවසරක සේවා කාලය සනිටුහන් කරමින්, විශේෂ සැමරුම් වැඩසටහනක් 2026.09.28 දින පෙරවරුවේ ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මහාසංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පවත්වන ලද මෙම කෙටි සහ අභිමානවත් උත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.

2024 සැප්තැම්බර් 26 වන දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ, ඌව පළාත් නියෝජිතවරයා ලෙස නීතිඥ කපිල ජයසේකර මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කරන ලදි. එතැන් සිට එතුමාගේ මඟපෙන්වීම යටතේ ගත වූ දෙවසරක කාලය තුළ ඌව පළාත් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින්, පළාත් සංවර්ධනය, ජනතා සේවා සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

පසුගිය වසර දෙක තුළ ඌව පළාතේ ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා දීමට සමස්ත කාර්යය මණ්ඩලය දැක්වූ කැපවීම සහ දායකත්වය එහිදී ආණ්ඩුකාරතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය. පසුගිය දෙවසරක කාලයේ දී ඌව පළාත් වාසීන්ගේ මූලික අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ උදාර අරමුණින් කටයුතු කිරීමට හැකි වූ බවත්, එම ගමනේදී ලද අත්දැකීම් සහ ශක්තිය ඉදිරි ගමනේ දී මතුවන අභියෝගවලට සාර්ථකව මුහුණු දීමට පන්නරයක් කර ගත යුතු බවත්, එහි දී අදහස් පළ කළ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා විසින් සඳහන් කරන ලදි.
ඉදිරි වර්ෂවල ද ජනතාවාදි, විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවාවක් වෙනුවෙන් තවදුරටත් කැපවීම සැමගේ වගකීම බවත්, ඌව පළාතේ පුනරුදය සහ ඉදිරි සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට සියලු දෙනා හට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා යැයි ද, ඒ සඳහා සියලුදෙනා එක්ව කටයුතු කිරීම සඳහා මෙම අවස්ථාවේ ආරධනා කරන බවද, වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කරන ලදි.

ආගමික වතාවත්වලින් අනතුරුව ඌව පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු සහ ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන් හා පෞද්ගලික කාර්යය මණ්ඩලය සමඟ සුහද සාකච්ඡාවකට එක් විය.

මෙම සැමරුම් අවස්ථාවට මහාසංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම්, ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු ඇතුළු ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් සහ ගරු ආණ්ඩුකාරතුමගේ පෞද්ගලික ලේකම් ඇතුළු පෞද්ගලික කාර්යය මණ්ඩලයේ නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.